දිට්වා සුළි කුණාටු ආපදාවෙන් විපතට පත් වූ මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් 44ක් සඳහා හන්තාන ප්‍රදේශයෙන් ඉඩම් කට්ටි ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් හන්තාන ප්‍රදේශයේ ඉඩමකින් මෙම ඉඩම් කට්ටි වෙන් කර ඇති අතර ඉඩම්වලට අමතරව නිවාස ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ වන්දි මුදලක් ද ලබා දීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක සහ ඊ. එම්. බස්නායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.
මේ අතර දොලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි ප්‍රදානය කිරීම ද පසුගියදා සිදු විය. එම කොට්ඨාසයේ විපතට පත් පවුල් 1,596ක් හඳුනාගෙන ඇති අතර ඉන් පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 771කි. එම සෑම පවුලක් සඳහාම රුපියල් ලක්ෂ 50 බැගින් වූ ආධාර මුදල් ප්‍රදානය කෙරුණු අතර එහි පළමු නිවාස ආධාරය අසේල සම්පත් මහතා වෙත පිරිනමන ලදී.
රජය අවධාරණය කරන්නේ සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් සියලුම ජනතාව කඩිනමින් යළි පදිංචි කරවීම සහ ඔවුන්ගේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම තම ප්‍රමුඛතාවය වන බවයි.














