මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර හෙට (25) වීථි සංචාරය කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇත. අගෝස්තු 18 වන දින ආරම්භ වූ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වෙන අතර, මාර්ග බාධක යෙදවීම, විශේෂ ආරක්ෂක රාජකාරි සහ රථවාහන ගාල් කිරීම් ඇතුළු වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරය තුළ ක්‍රියාත්මක වන විකල්ප මාර්ග ලෙස, කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් නගරයට ගමන් කළ හැකි අතර, කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය සහ යටිනුවර වීදිය ඔස්සේ මීරමක්කම් පල්ලිය අසලින් වමට හැරී තිලක් රත්නායක මාවත හරහා ගමන් කළ හැක. කටුගස්තොට දෙසට පිටවන වාහන සඳහා පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට යාමට පහසුකම් සලසා ඇත.
තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ, ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් බෝගම්බර දුම්රිය පොළ අසලින් කොළඹ හෝ නගරය දෙසට ගමන් කළ හැකි අතර, රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේද නගරයට ඇතුළු විය හැක. නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ යුතුය. මීට අමතරව, බෝගම්බර වටරවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත සහ වේල්ස් පාර්ක් හන්දිය හරහාද අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට යාමට අවස්ථාව සලසා දී ඇති අතර, කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා නගරයෙන් පිට වීමට විලියම් ගොපල්ලව මාවත සහ පරණ පේරාදෙණිය පාර දෙපසම භාවිතා කළ හැක. පෙරහැර නැරඹීමට පැමිණෙන මහජනතාවගේ සහ රියැදුරන්ගේ පහසුව උදෙසා මෙම රථවාහන සැලැස්මට අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලා සිටියි.















