ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරිය අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්හ. ඇපකරුවන්ගේ ගැටලුවක් හේතුවෙන් තමන්ට යළිත් බන්ධනාගාරගත වීමට සිදුවනු ඇතැයි කපිල චන්ද්‍රසේන මහතා දැඩි අකමැත්තකින් සහ කනස්සල්ලකින් පසුවූ බව අරවින්ද ද සිල්වා මහතා අධිකරණය හමුවේ පැවසීය. මියගිය දින රාත්‍රියේ තමන් ඇඳුම් එල්ලා ගැනීමට යැයි පවසමින් සිය නිවසින් “ජිම් මැට්” එකක් ද ගෙන්වා ගත් බවත්, තමන් ඒ ගැන ප්‍රශ්න කළ විට “ඇඳුම් එල්ලා ගැනීමට” බව ඔහු පැවසූ බවත් අරවින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පසුදින උදෑසන නීතිඥවරයා පැමිණි විටත් කපිල චන්ද්‍රසේන මහතා දොර විවෘත නොකළ බැවින් “මාස්ටර් කී” (Master Key) එකක් භාවිතා කර දොර විවෘත කිරීමට සිදුවූ බවත්, එහිදී ඔහු ඇඳේ නොසිටි බවත් මරණකරුගේ බිරිඳගේ සොහොයුරිය අධිකරණයට දන්වා සිටියාය.
මේ අතර මරණකරු සතු වූ iPhone 16 Pro Max දුරකථනය අධි ආරක්ෂිත ‘මුහුණු ප්‍රවේශ’ (Face ID) ක්‍රමවේදයක් සහිත එකක් බැවින් එය විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති අතර, මෘත ශරීරයේ මුහුණට ලංකර එය විවෘත කිරීමට ගත් උත්සාහය ද අසාර්ථක වූ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. පොලිසිය විසින් මරණකරුගේ රුධිර සාම්පල, ඖෂධ වර්ග සහ ගෙල බැඳි පටිය නඩු භාණ්ඩ ලෙස රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව කපිල චන්ද්‍රසේන මහතාට ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මරණය සම්බන්ධ වැඩිදුර සාක්ෂි විමසීම මැයි 14 වනදා පැවැත්වීමට නියමිතය.














