ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අභිරහස් මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද (22) 4 වන දිනටත් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
මෙහිදී විමර්ශන මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අධිකරණයට දන්වා සිටියේ මරණකරු පදිංචිව සිටි නිවසේ සාලය වැනි කොටසක වැටී තිබී ඔහුගේ මුදල් පසුම්බි දෙකක් නිවාස සේවිකාවකට හමු වී ඇති බවයි. එම පසුම්බි තුළ තිබී දේශීය සහ ඇමරිකානු බැංකුවලට අයත් කාඩ්පත් කිහිපයක් සොයාගෙන ඇති අතර, ඒවා වහාම අක්‍රීය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මරණකරුගේ ජංගම දුරකතනය විවෘත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළ අතර, ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යොමු කළ බව පොලීසිය පැවසීය. එහිදී විමර්ශන ප්‍රමාද වීම ගැන විමසූ මහේස්ත්‍රාත්වරයා, ඉදිරි කටයුතු සඳහා දුරකතනය විවෘත කිරීම අනිවාර්ය බැවින් එම විමර්ශන කඩිනම් කරන ලෙස නියෝග කළේය.
නිවස අවට CCTV පරීක්ෂාවේදී බාහිර පුද්ගලයන් ඇතුළු වී නැති බව පොලීසිය මීට පෙර වාර්තා කර තිබුණ ද, නිවස තුළ වෙනත් පුද්ගලයෙකු සිටි බවට සේවිකාවක ලබා දුන් සාක්ෂිය ගැන මහේස්ත්‍රාත්වරයා කරුණු විමසීය. නිවසට ඇතුළු විය හැකි රථගාල් ද්වාර ද්විත්වය අවට පරීක්ෂා කිරීමේදී කිසිවෙකු ඇතුළු වී නැති බව තහවුරු වූ බැවින් එම කරුණු වාර්තා කළ බව පොලීසිය සඳහන් කළේය.
ප්‍රධාන මාර්ගයට යාබදව නිවසට ඇතුළු විය හැකි දොරටු දෙකක් පවතින්නේ දැයි ගූගල් සිතියම ආශ්‍රයෙන් වහාම පරීක්ෂා කර දන්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව අධිකරණය තුළදීම එය පරීක්ෂා කළ පොලීසිය, ප්‍රධාන මාර්ගය ඔස්සේ අදාළ නිවසට පිවිසිය හැක්කේ එක් දොරටුවකින් පමණක් බව තහවුරු කළේය.
අනතුරුව සාක්ෂි දුන් රොහාන් චමිල් අමරදාස නැමැත්තා කියා සිටියේ, අරවින්ද සිල්වා නැමැති අයෙකුගේ ඉල්ලීමකට අනුව තමන් මැයි 06 වනදා අලුත්කඩේ අධිකරණයේදී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඇප අත්සන් කළ බවයි.
තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු, වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 26 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.














