ගාල්ල කරාපිටිය ජාතික රෝහලේදී හෘද සැත්කමකට ලක්ව ප්රතිකාර ලබමින් සිටි දෙදරු මවක් ඩෙංගු රෝගය වැලඳීමෙන් මියගොස් ඇති බව හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කරන්දෙනිය, පොල්ගස්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි තුසෙයහේවා පත්මා ගුණරත්න නැමැති කාන්තාවකි.
ඇයගේ සැමියා විසින් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ දීර්ඝ කාලයක සිට පපුවේ අමාරුවකට ප්රතිකාර ලැබූ සිය බිරිඳ ජූලි 02 වැනිදා කරාපිටිය රෝහලේදී හෘද සැත්කමකට භාජනය කළ බවයි. සැත්කමෙන් පසු රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඇයට උණ වැලඳී ඇති අතර පරීක්ෂණවලදී ඩෙංගු වැලඳී ඇති බව තහවුරු වී ඇත. පසුව තත්ත්වය අගරු වී ජූලි 18 වැනිදා ඇය මියගොස් තිබේ. ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සලකා බැලූ හදිසි මරණ පරීක්ෂකවරයා මෙය ඩෙංගු රෝගය වැලඳීමෙන් සිදු වූ මරණයක් බවට තීන්දු කර ඇත.
















