ලොව විශාලතම කොන්ඩම් නිෂ්පාදකයා වන මැලේසියාවේ Karex Bhd සමාගම, සිය නිෂ්පාදනවල මිල සියයට 20 සිට 30 දක්වා පරාසයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව අද (21) නිවේදනය කළේය. ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට එල්ල වී ඇති දැඩි බලපෑම සහ නැව් ගාස්තු ඉහළ යාම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගෝ මියා කියට් (Goh Miah Kiat) රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේ, සැපයුම් ප්‍රමාදයන් හේතුවෙන් ලොව පුරා පාරිභෝගිකයින් සතු තොග වේගයෙන් අවසන් වෙමින් පවතින බැවින් ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. යුධමය තත්ත්වය තවදුරටත් පැවතුණහොත් මිල ගණන් මීට වඩා වැඩි විය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය. ගෝලීය වශයෙන් ලිංගික සෞඛ්‍ය නිෂ්පාදන සැපයුම කෙරෙහි මෙම තත්ත්වය සෘජුවම බලපානු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.














