රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී තැතිගන්වනසුලු තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
තායිලන්තයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනාගෙන් 19 දෙනෙකුම ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බව කියන ‘අමිතානන්ද’ නම් චීවරධාරියා ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මොහු අදාළ මත්ද්‍රව්‍ය තොගය භාරගැනීමට ගුවන්තොටුපොළට පැමිණ සිටියද, අනෙක් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමඟ පලාගොස් තිබේ. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවයි.
මෙම ජාවාරම පිටුපස ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් දෙදෙනෙකු සිටින අතර ඉන් අයෙකු ‘හාජි’ නම් නමකින් හැඳින්වෙන බව හෙළි වී ඇත. මීට පෙරද අවස්ථා කිහිපයකදී මොවුන් මෙලෙස තායිලන්තයේ සංචාරය කර ඇති අතර, එළැඹෙන මැයි මාසයේදී තවත් චීවරධාරීන් 40 දෙනෙකු රැගෙන මෙවැනිම සංචාරයක් යාමට සැලසුම් කර තිබූ බව වාර්තා වේ.
මීට පෙර රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තැබූ බව කියන අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක හිමිකරුද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මත්ද්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














