අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ගුවන්තොටුපොළ වෙත පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවීම නිසා, ගුවන් ගමන් සඳහා පිටත්වන මගීන් සිය ගුවන් යානයට පැය 04කට පමණ පෙර ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණෙන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.
ගමනාගමන තදබදය මඟහරවා ගැනීමට හැකි තරම් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන ලෙස ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා දැනුම් දෙනවා.
මේ වන විට ගුවන්තොටුපොළ ආසන්නයේ ඇති නයිකන්ද සහ කෝවින්න යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පවතින බව වාර්තා වේ. පවතින දැඩි වැසි සහිත කාලගුණය හේතුවෙන් මීට පෙර ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා කිහිපයක් ද මත්තල ගුවන්තොටුපොළ සහ ඉන්දියාවේ ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුණි.
















