වෙඩි වැදීමකින් තුවාල ලබා සිටියදී මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්කළ විශේෂඥ කමිටුව අද (21) පෙරවරුවේ පළමු වරට රැස්වීමට නියමිතය.
පරිසර හා වනජීවි අමාත්යාංශයේ හිටපු ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරුන් ඇතුළත් වෙති.
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්රතිඵල සහ අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව මාසයක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.
















