කැලණි ගඟේ ජල දූෂණය පාලනය කිරීම සහ ගඟ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක සූදානම සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මෙම රැස්වීමේදී, කැලණි ගඟ පිරිසිදු කිරීම සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ මේ වන විට පවත්වනු ලබන සාකච්ඡාවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට කරුණු ඉදිරිපත් කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ජනතා නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ වත්මන් පාරිසරික ගැටලු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
කැලණි ගඟ යනු ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලන ප්‍රධාන ජල මූලාශ්‍රයක් බැවින්, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.
















