කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ අංශාධිපති මෙන්ම කැලණිය රජමහා විහාරස්ථානයේ කෘත්යාධිකාරී ජ්යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ, කැලණිය විශ්වවිද්යාලයේ මහාචාර්ය තනතුරට උසස් කරනු ලැබීම නිමිත්තෙන් උන්වහන්සේ වෙනුවෙන් පැවැත්වූ විශේෂ අභිනන්දන හා උපහාර උත්සවයක් කැලණිය රජමහා විහාරස්ථානයේ විජිත ධම්මරක්ඛිත ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පවත්වා තිබේ. ශ්රීපාදස්ථානාධිපති පූජ්ය බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන්ගේ ප්රධානත්වයෙන් සහ කැලණිය රජමහා විහාරාධිපති ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැති මෙම පුණ්යෝත්සවය සඳහා ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙරට උසස් අධ්යාපන ක්ෂේත්රය සහ බෞද්ධ ශාස්ත්රීය අධ්යයනයන් පෝෂණය කිරීම උදෙසා පූජ්ය දෙනියායේ පඤ්ඤාලෝක නාහිමියන් දක්වන ලද දීර්ඝකාලීන කැපවීම සහ අධ්යයන සම්ප්රදාය මෙහිදී ඇගයීමට ලක්වූ අතර, විහාරස්ථානයේ බස්නායක නිලමේ ධම්මික ආටිගල සහ දායක සභාවේ සභාපති වෛද්ය සමන් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිස විසින් උන්වහන්සේ වෙත පූජෝපහාර තිළිණ පිරිනමන ලදී. ශාස්ත්රීය පර්යේෂණ සහ විශ්වවිද්යාලයීය අධ්යාපන පද්ධතිය තුළ යතිවරයාණන් වහන්සේලා සපයන මෙහෙවර ජාතික වශයෙන් අතිශය වැදගත් වන අතර, සම්ප්රදායික විහාරස්ථ ශාසනික මෙහෙවර මෙන්ම නූතන අධ්යයන ක්ෂේත්රය ද එකසේ ඉදිරියට ගෙන යාමට උන්වහන්සේ දැක්වූ දායකත්වය මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
උසස් අධ්යාපන ක්ෂේත්රයේ බෞද්ධ හා පාලි අධ්යයන ගුණාත්මක ලෙස වර්ධනය කිරීම සඳහාත්, අනාගත පරපුරට ශාස්ත්රීය හා අධ්යාත්මික මාර්ගෝපදේශනය සැපයීම සඳහාත් මෙවැනි විද්වත් යතිවරයාණන් වහන්සේලාගේ උසස්වීම් ප්රබල ශක්තියක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. කැලණිය විශ්වවිද්යාලයීය බෞද්ධ අධ්යයන අංශයේ ඉදිරි අධ්යයන හා පර්යේෂණ කටයුතු තවදුරටත් පුළුල් කරමින් දේශීය හා ජාත්යන්තර මට්ටමින් බෞද්ධ දර්ශනය ප්රචලිත කිරීම සඳහා උන්වහන්සේගේ මෙම නව මහාචාර්ය පදවිය මහඟු පිටිවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














