අවිධිමත් ලෙස පාරවල් අයිනට සහ පොදු ස්ථානවලට කැළිකසළ බැහැර කරමින් පරිසරය අපවිත්‍ර කරන සහ ඩෙංගු ව්‍යාප්තියට ඉඩ සලසන පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා කැස්බෑව නගර සභාව මඟින් විශේෂ CCTV කැමරා පද්ධතියක් සවි කර තිබේ. සභාපති චාමර මද්දුම කළුගේ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ 4G තාක්ෂණයෙන් යුතු කැමරා 10ක් දැනටමත් හඳුනාගත් ස්ථානවල සවි කර ඇත.
මෙම කැමරා මඟින් නගර සභා ප්‍රධාන කාර්යාලයේ සිට සෘජුවම නිරීක්ෂණය කෙරෙන අතර, කසළ දමා යන පුද්ගලයන්ගේ ඡායාරූප සහ වාහන අංක ලබාගෙන නීතිමය පියවර ගැනීම සඳහා පොලීසිය වෙත යොමු කෙරේ. කැමරා සවි කළ පළමු දිනයේදීම මෙලෙස පරිසරය අපවිත්‍ර කළ 12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව නගර සභාව පවසයි.














