කිළිනොච්චිය ඩිපෝ හන්දිය අසල පැවති මැයි රැලියට ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලයක් රැගෙන පැමිණ අත්අඩංගුවට ගත් සැකකරු නිදහස් කිරීමට කිළිනොච්චිය පොලිසිය කටයුතු කර තිබේ.
මැයි රැලිය පැවති ස්ථානයට ප්ලාස්ටික් පිස්තෝලයක් සමඟ පැමිණි මෙම පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී අත්අඩංගුවට ගෙන තිබුණි. අනතුරුව ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා කිළිනොච්චිය පොලිසිය වෙත භාර දෙන ලදී.
පොලිසිය විසින් මොහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර, එම තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලය තමන් මිලදී ගත්තේ සිය කුඩා දරුවාට සෙල්ලම් කිරීම සඳහා බව ඔහු පොලිසියට පවසා ඇත. එය රැගෙන නිවසට යන අතරතුර මැයි රැලිය නැරඹීමට ඇති වූ ආශාව නිසා එම ස්ථානයට ගිය බවත්, එහිදී තමන් අත්අඩංගුවට පත් වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.















