කිලිනොච්චිය නගරයේ දිවා කාලයේ සිදුවූ නිවෙස් බිඳ දේපළ හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ අපරාධ 10කට පමණ සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (13) දින අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 20 සහ 25 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වේ.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා සොරකම් කරන ලද දේපළ සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත. මීට අමතරව මොවුන් විසින් විවිධ බැංකු හා උකස් මධ්‍යස්ථාන වෙත උකස් කර ඇති රුපියල් ලක්ෂ 49ක් පමණ වටිනා රන් භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස ලබා ගැනීම සඳහා අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීමට නියමිත බව ද සඳහන් වේ. කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














