ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය තුළ ට්‍රම්ප් පාලනයේ ඉරාන යුද බලතල සීමා කිරීම සඳහා ඩිමොක්‍රටික් පාර්ශවය ගෙන ආ නවතම යෝජනාව පරාජයට පත්ව තිබේ. ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු බවට බල කරමින් ඉදිරිපත් කළ මෙම යෝජනාව පරාජය කිරීමට රිපබ්ලිකන් පාර්ශවය සමත්වුවද, මෙම යෝජනාවට පක්ෂව තවත් රිපබ්ලිකන් මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ට්‍රම්ප් පාලනයට එල්ල වන පීඩනය තවදුරටත් ඉහළ ගොස් ඇත.
මෙම තීරණාත්මක ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 49ක් සහ විපක්ෂව ඡන්ද 50ක් ලැබුණු අතර, මෙය මෙම වසර තුළ මෙවැනි යෝජනාවක් සෙනෙට් මණ්ඩලය තුළ පරාජයට පත් වූ හත්වැනි අවස්ථාව ලෙස වාර්තා වේ. මෙහිදී රෑන්ඩ් පෝල්, සූසන් කොලින්ස් සහ ලිසා මුර්කොව්ස්කි යන රිපබ්ලිකන් පාර්ශවයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිය පක්ෂයේ මතයට එරෙහිව යමින් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සුවිශේෂී සිදුවීමකි.
1973 ඇමෙරිකානු යුද බලතල පනතට අනුව කොංග්‍රස් අනුමැතියකින් තොරව ජනාධිපතිවරයෙකුට හමුදා ක්‍රියාමාර්ග ගත හැක්කේ දින 60ක් පමණක් වුවද, එම කාලසීමාව පසුගිය මැයි 01 වැනිදායින් අවසන් විය. කෙසේ වෙතත් සටන් විරාමයක් මඟින් සතුරුකම් අවසන් වී ඇති බැවින් තමන්ට එම නීතිය බලනොපාන බව ජනාධිපති ට්‍රම්ප් පවසන අතර, ඉරාන වරායන් අවහිර කිරීම සහ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම තවදුරටත් සිදුවන බැවින් යුද්ධය අවසන් වී නැති බව ඩිමොක්‍රටික් පාර්ශවය තර්ක කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යුද්ධ ප්‍රකාශ කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට නොව කොංග්‍රස් මණ්ඩලයට බව පෙන්වා දෙන විපක්ෂය, පැහැදිලි උපාය මාර්ගයක් නොමැතිව ට්‍රම්ප් විසින් රට දිගුකාලීන ගැටුමකට ඇද දමා ඇති බවට අනතුරු අඟවයි. ධවල මන්දිරය සහ රිපබ්ලිකන් පාර්ශවය අවධාරණය කරන්නේ සේනාධිනායකයා ලෙස රට ආරක්ෂා කිරීමට මෙවැනි සීමිත හමුදා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයාට පූර්ණ නෛතික අයිතිය ඇති බවයි. කෙසේ වෙතත්, ලබන සතියේදී ද නැවත මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටික් පාර්ශවය සූදානම් වෙයි.














