කන්කසන්තුරය, උඩුත්තරය ප්‍රදේශයේ මහා විද්‍යාලයක ගුරුවරියන් 16 දෙනෙකුගෙන් සමන්විත සමූහ ඡායාරූපයක් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ඔස්සේ සංස්කරණය කර නිරුවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේම සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මරදන්කේනි පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකාර සිසුන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අය බව සඳහන් වේ.
අදාළ විද්‍යාලයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබී සොයාගත් ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ සංස්කරණය කරන ලද අදාළ ගුරුවරියන්ගේ නිරුවත් ඡායාරූප සහ එම ඡායාරූප වට්සැප් (WhatsApp) මාධ්‍ය ඔස්සේ බෙදාහැර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙවැනි සිදුවීම් හරහා තාක්ෂණය අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇති අතර, පාසල් සිසුන් අතර ඩිජිටල් තාක්ෂණ භාවිතය පිළිබඳව නිසි දැනුවත් කිරීම් සහ විමසිලිමත් වීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














