27 April 2024
#දේශීය

නකල්ස් රක්ෂිත වනාන්තරයේ බිම් අඟලක් කාටවත්ව දීලා නෑ 

නකල්ස් රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම් කිසිදු පුද්ගලික සමාගමකට හෝ පුද්ගලික ආයෝජකයින්ට ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට රජය කිසිදු ආකාරයකින් කටයුතු කර නොමැති බව ව්‍යාවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) දින කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදිය.

එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා කියා සිටියේ “ඇල්කඩුව වැවිලි සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව වැනි සමාගම්වලට අයත් සංවර්ධනය නොවූ ඉඩම් සංවර්ධනය කර රටේ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා පුද්ගලික ආයෝජකයින්ගේ යෝජනා 257 ක් ඉදිරිපත් කර ඇති බැවින් රජය එම ආයෝජන අවස්ථා ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන තිබේනවා. එම යෝජනා අතර නකල්ස් රක්ෂිතයට හෝ ඊට ආසන්න පාරිසරික වශයෙන් වැදගත් කිසිදු බිම් අඟලක් ඇතුලත් වී නැහැ.

එම ව්‍යාපෘති තෝරාගැනීමද විධිමත් මණ්ඩලයක් යටතේ ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කර තිබෙනවා. එම කමිටුවට ව්‍යාපෘති යෝජනා 695 ක් ලැබී ඇති බවත් එයින් යෝජනා 150 ක් ව්‍යාපෘති සුදුසු තත්වයේ නොමැති බැවින් අමාත්‍යංශය විසින් ඒවා ප්‍රතික්ෂේපකර තිබෙනවා. එයින් තෝරාගත් ව්‍යාපෘති 257 ක් අතරින් කෘෂි කාර්මික සංවර්ධන ව්‍යාපෘති, කිරි ගොවීන් බෝ කිරීමේ ව්‍යාපෘති, ගව පාලන ව්‍යාපෘති, ආදී ආයෝජන අවස්ථා රාශියක් ඉදිරිපත් වී ඇති නමුත් එම ව්‍යාපෘති සඳහා නකල්ස් රක්ෂිතයට අයත් බිම් අඟලක් හෝ ලබා දෙන්නේ නැහැ. එම ඉඩම් ලබාදීමට අපේක්ෂා කරන්නේ අදාල වැවිලි සමාගම්වලට අයත් මෙතෙක් සංවර්ධනය කර නොමැති වතු ඉඩම් පමණයි.

එබැවින් මේ වන විටත් පාරිසරික සංවිධාන හා ඇතැම් ජනමාධ්‍ය විසින් නකල්ස් රක්ෂිතයේ ඉඩම් පෞද්ගලික ආයෝජකයන්ට බෙදා දීමට රජය කටයුතු කර ඇති බවට කර තිබෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ සඳහා අදාල චොදනාකරන සංවිධානවලට විවෘතව මෙම ඉඩම් සතු ප්‍ර දේශවල සංචාරය කරමින් පවතින සත්‍ය තොරතුරු පමණක් වාර්තා කරන ලෙසත් එසේ නොමැතිව නකල්ස් වැනි රක්ෂිතයන් ඉලක්ක කරගෙන මෙවැනි අසත්‍ය ප්‍රචාර නොකරන ලෙසටත් එම සංවිධානවලින් විශේෂ ඉල්ලීමක් කරනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා සහ වැවිලි සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කිහිප දෙනෙකුද සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *