දිට්වා සුලි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජ මහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවත්, සිදු වූ අලාභය තක්සේරු කිරීමටවත් නිසි පියවරක් ගෙන නොමැති බවත් එම විහාරස්ථානයේ විහාරාධිපති, කොත්මලේ පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය මඩකුඹුරේ ලංකාංග හිමියෝ චෝදනා කරති.
අද (06) විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ කුණාටුවෙන් මාස 7ක් ගතවී ඇතත්, වගකිවයුතු බලධාරීන් වෙත ලිඛිතව දැනුම් දුන්නද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
උන්වහන්සේ පෙන්වා දුන් පරිදි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා, බුද්ධශාසන අමාත්‍යවරයා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය ඇතුළු අදාළ සියලු පාර්ශ්ව වෙත ලිඛිතව දැනුම් දී තිබුණත්, තවමත් ඒ සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගෙන නොමැත. දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු සාකච්ඡා කිරීමට පීඩාවට පත් පාර්ශ්වයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බව ද උන්වහන්සේ පවසයි.
නිලධාරීන්ගෙන් ලැබෙන මෙම කුඩම්මාගේ සැලකිල්ල හේතුවෙන් විහාරස්ථානය තවදුරටත් සංවර්ධනය කරන්නේද නැද්ද යන්න පිළිබඳව බලධාරීන් පැහැදිලි තීරණයක් දැනුම් දිය යුතු බවත්, එසේ නොමැති නම් විහාරස්ථානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තමන් තීරණයක් ගන්නා බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
මෙම ඓතිහාසික විහාරස්ථානය සහ අවට ගම්මාන වෙත වූ හානිය සම්බන්ධයෙන් කඩිනම් රජයේ අවධානය යොමු විය යුතු බව ප්‍රදේශවාසීහු ද පෙන්වා දෙති.
















