සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු දෙකක ගොනු දෙකක් අස්ථානගතවීමේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් දසදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ප්‍රකාශ ලබාගත් පිරිස අතර නිලධාරිනියන් 7 දෙනෙකු ද වන බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා සඳහන් කරයි.
මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ නඩු ගොනු අස්ථානගතවීම පිළිබඳව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පානදුර දකුණ මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුඩු සලිඳුගේ මෙහෙයවීම මත පානදුර උතුර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවකට අදාළ ගොනුවයි.
අදාළ නඩු ගොනුවල පිටපත් ලබාගැනීම සඳහා කාර්යාල කාර්ය සහයක වෙත ලබාදී ලේඛනාගාර ගතකර තිබියදී ඒවා අතුරුදන්ව ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී හෙළි වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ සංකීර්ණයේ CCTV කැමරා පද්ධතිය ද පරීක්ෂාවට ලක්කිරීමට නියමිතය.














