පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් අසත්‍ය සහ විකෘති කරන ලද පුවතක් ප්‍රචාරය කළ බවට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල අද (23) සලකා බලන බව විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) පවසයි. ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කොපරේෂන් (ABC) ආයතනයට අයත් නාලිකාවක් මගින්, අමාත්‍යවරයා සතුව රුපියල් කෝටි 46ක වත්කම් පවතින බවට පළ කළ ප්‍රවෘත්තියක් මගින් තමන්ට අපහාසයක් වූ බව ඔහු පෙන්වා දෙයි.
තමන් ස්වේඡාවෙන් ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම ප්‍රවෘත්තිය පළ කර ඇති බවත්, ඒ හරහා මාධ්‍ය සදාචාරය මෙන්ම විකාශන බලපත්‍ර කොන්දේසි ද උල්ලංඝනය කර ඇති බවත් අමාත්‍යවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නාලිකාවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් ද යොමු කර ඇති ලාල් කාන්ත මහතා, විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා ලෙසයි.














