දැනට නිකුත් කිරීම අත්හිටුවා ඇති වාහන අංක තහඩු 2026 මැයි මාසය අවසන් වීමට පෙර ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කර තිබේ. අංක තහඩු නිෂ්පාදනය සඳහා අදාළ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇති අතර, 2026 මාර්තු 26 වනදා සිට අදාළ ආයතනය සමඟ ගිවිසුම්ගතව ඇති බැවින් ඉදිරි මාස තුන ඇතුළත මෙම හිඟය මඟහරවා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
2026 මාර්තු 3 වනදා වන විට වාහන 413,000ක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට ඉතිරිව පවතී. විශේෂත්වය වන්නේ ඇතැම් පුද්ගලයන් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත විශේෂිත වාහන අංක රුපියල් මිලියනය බැගින් ගෙවා කලින්ම වෙන් කරවාගෙන තිබීමයි. ඒ අනුව 2023 සිට 2026 දක්වා කාලය තුළ වාහන 1,100කට අධික සංඛ්‍යාවක් සඳහා මෙලෙස රුපියල් මිලියනය බැගින් ගෙවා අංක ලබාගෙන ඇත.
මීට අමතරව ඉදිරියේදී වාහන හිමිකරුගේ නම සඳහන් කළ හැකි පරිදි සකස් කළ අංක තහඩු (Personalized Plates) නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කරමින් සිටින බව මෙහිදී අනාවරණය විය.














