තායිලන්තයේ සිදුකළ කැණීම්වලින් අග්නිදිග ආසියානු කලාපයෙන් මෙතෙක් හමු වූ විශාලතම ඩයිනසෝර විශේෂයේ පොසිල අවශේෂ සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ. “Nagatitan chaiyaphumensis” ලෙස නම් කර ඇති මෙම දැවැන්ත සත්වයා අලි ඇතුන් නව දෙනෙකුගේ පමණ බරින් යුක්ත වූ බවත්, මීට වසර මිලියන 100ත් 120ත් අතර කාලයකට පෙර ජීවත් වූ බවත් විද්‍යාඥයෝ පවසති.
මෑතකදී ප්‍රකාශයට පත් වූ විද්‍යාත්මක වාර්තාවකට අනුව, මෙම සත්වයා දිගු බෙල්ලක් සහ වලිගයක් සහිත ‘සෝරෝපෝඩ්’ (sauropod) වර්ගයට අයත් ශාකභක්ෂක ඩයිනසෝරයෙකි. අඩි 89ක් (මීටර් 27ක්) පමණ දිගින් යුක්ත වූ මෙම සත්වයාගේ බර ටොන් 27ක් පමණ වන්නට ඇතැයි ගණන් බලා ඇත. මෙය ලන්ඩන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ සුප්‍රකට ඩිප්ලොඩෝකස් (Diplodocus) ඩයිනසෝරයාට වඩා ටොන් 10කින් පමණ බරින් වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම සත්වයාගේ හිස් කබල හෝ දත් හමු වී නොමැති වුවද, අනෙකුත් සෝරෝපෝඩ් විශේෂයන්ගේ දත්ත මත පදනම්ව මොවුන් කේතුධර ශාක වැනි විශාල වෘක්ෂලතා ප්‍රමාණයක් ආහාරයට ගන්නට ඇති බව විශ්වාස කෙරේ. තායිලන්තයේ ඊසානදිග ප්‍රදේශයෙන් මීට වසර දහයකට පෙර මෙහි ප්‍රථම පොසිල කොටස් හමු වුවද, එහි සම්පූර්ණ කැණීම් කටයුතු අවසන් කර ඇත්තේ 2024 වසරේදීය. මෙම සත්වයාගේ ජීවමාන ප්‍රමාණයේ අනුරුවක් මේ වන විට බැංකොක් නුවර පිහිටි ‘Thainosaur’ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.














