මධ්‍ය පෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමට පෙර හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යුරෝපයට ගමන් ආරම්භ කළ අවසන් බොරතෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) ප්‍රවාහන නෞකා මේ වන විට ගමනාන්ත වෙත ළඟා වී ඇති බැවින්, ඉදිරියේදී බලශක්ති මිල තවදුරටත් ඉහළ යනු ඇති බව බලශක්ති විශ්ලේෂකයෝ අනතුරු අඟවති. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම නතර වීමත් සමඟ යුරෝපා සංගමයේ රටවල් දැනට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) විසින් නිදහස් කරන ලද හදිසි තෙල් සංචිත මත යැපෙමින් සිටියි. පසුගිය පෙබරවාරි 28 වනදා ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් පසු මෙම තීරණාත්මක මුහුදු මාර්ගය අවහිර වීම, ඉතිහාසයේ දරුණුතම බලශක්ති ආරක්ෂණ අර්බුදය බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් පෙන්වා දෙයි. පවතින උද්ධමනය හමුවේ පීඩාවට පත්ව සිටින පුරවැසියන්ට සහ කර්මාන්තශාලා සඳහා සහන සැලසීමේ ක්‍රියාමාර්ග ලබන සතියේ ඉදිරිපත් කිරීමට යුරෝපා කොමිසම සූදානම් වේ.














