හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ඉරාන හිතවාදී තෙල් ප්‍රවාහන නෞකා ඇමෙරිකානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා ස්ථීර ස්ථානයකට රැගෙන යන තෙක් අරාබි මුහුදේ හෝ ඉන්දියන් සාගරයේ තාවකාලික කලාපයක රඳවා තැබීමට සැළසුම් කර තිබේ. “Wall Street Journal” වාර්තා කරන පරිදි, මෙම නාවික අවහිරතාවය ක්‍රියාත්මක වූ පළමු පැය 24 තුළ කිසිදු නෞකාවකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලැබී නොමැති අතර, ඇතැම් තෙල් ප්‍රවාහන නෞකා (Tankers) දැනටමත් ආපසු හැරී ගොස් ඇත.
ඇමෙරිකානු ආරක්ෂක අංශවල අවධානය මේ වන විට යොමුව ඇත්තේ ප්‍රධාන තෙල් ප්‍රවාහන නෞකා වෙත නොව, එම නෞකාවලට ආරක්ෂාව සපයන හෝ බාධා පමුණුවන ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) වේගවත් ප්‍රහාරක යාත්‍රා (Speedboats) වෙතය. ඉරාන හිතවාදී බලවේග විසින් මෙම මුහුදු සීමාවේ සිදුකරන යුදමය මැදිහත්වීම් වැළැක්වීම සඳහා ඉදිරියේදී එම වේගවත් යාත්‍රා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බව ද වාර්තා වේ.
මෙම නාවික අවහිරතාවය හේතුවෙන් ගෝලීය තෙල් වෙළඳපොළට එල්ල විය හැකි බලපෑම අවම කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට ඇමෙරිකාව උත්සාහ කරමින් සිටින නමුත්, චීනය සහ රුසියාව වැනි රටවල් මෙම ක්‍රියාවලිය දැඩි ලෙස විවේචනය කර ඇත. හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින මෙම දැඩි යුදමය ආතතිය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ කලාපීය ආරක්ෂාව තවදුරටත් අස්ථාවර වනු ඇතැයි විදේශීය ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
තොරතුරු උපුටා ගැනීම: Wall Street Journal ඇසුරින්














