රුසියාවේ සිට ලැට්වියානු ගුවන් සීමාවට ඇතුළු වූ නියමුවෙකු රහිත යානා (Drones) කිහිපයකින් දෙකක් එරට භූමියට කඩාවැටී ඇති බව ලැට්වියානු හමුදාව අද (07) ප්‍රකාශ කළේය. මෙහිදී එක් යානයක් නැගෙනහිර ලැට්වියාවේ රෙසෙක්නේ (Rezekne) ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයකට කඩාවැටීම හේතුවෙන් එහි ගින්නක් හටගෙන තිබේ.
ඊයේ රාත්‍රියේ රුසියානු දේශසීමාව හරහා ලැට්වියානු ගුවන් සීමාවට ඩ්‍රෝන යානා කිහිපයක් ඇතුළු වී ඇති අතර, ඉන් දෙකක් රට තුළට කඩාවැටී ඇත. තෙල් ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් හටගත් ගින්න ගිනි නිවන භටයන් විසින් කඩිනමින් මැඩපවත්වන ලද බව එරට ජාතික පොලිසිය තහවුරු කරයි. යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය දිගින් දිගටම සිදුවන තාක් මෙවැනි විදේශීය ඩ්‍රෝන යානා තම ගුවන් සීමාවට ඇතුළු වීමේ අවදානමක් පවතින බව ලැට්වියානු හමුදාව වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම යානා කොහේ සිට පැමිණියේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති වුවද, පසුගිය මාර්තු මාසයේදී ද රුසියාවට අයත් යැයි සැකකෙරෙන ඩ්‍රෝන යානා ලැට්වියාවට සහ එස්තෝනියාවට කඩාවැටුණු බව වාර්තා විය. නේටෝ (NATO) සාමාජික රටවල් තම ගුවන් සීමාවේ ආරක්ෂාව වෙනුවෙන් “ඩ්‍රෝන පවුරක්” (Drone wall) නිර්මාණය කිරීමට එකඟ වී ඇත්තේ ද මෙවැනි අඛණ්ඩ තර්ජන හමුවේය.














