27 April 2024
#දේශීය

ජාතික විද්‍යා පදනමේ ගෝලීය ඩිජිටල් වේදිකාව දියත් කිරීම

ජාතික සංවර්ධනය සඳහා දේශප්‍රේමී අනේවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයින් යොදා ගැනීමේ අරමුණින් ජාතික විද්‍යා පදනම ගෝලීය ඩිජිටල් වේදිකාවක් දියත් කර ඇති බව රජය පවසයි.

ඩිජිටල් වේදිකාව ජනගත කිරීම එළැඹෙන 21 වනදා පෙරවරු 09.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරේ.

1968 දී ස්ථාපිත ජාතික විද්‍යා පදනමේ ප්‍රමුඛ කාර්යය වන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යාව සහ තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමයි. පර්යේෂණයන්ට මූල්‍යාධාර දීම, පර්යේෂණ මගින් සොයාගන්නා දැනුම ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි පරිදි තාක්ෂණය බවට හැරවීම, විද්‍යා ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණුව, දැනුම සහ පශ්චාත් උපාධි ප්‍රදානය, ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යාම, විද්‍යා සාක්ෂරතාව ජනතාව අතරට ගෙන යාම ආදී කාර්යයන් රැසක් ජාතික විද්‍යා පදනම සිදුකරයි.

අධ්‍යාපනික, පර්යේෂණ හා සංවර්ධන ආයතනවල සහ කර්මාන්ත අංශයන්හි ඉහළ තනතුරු හොබවන ශ්‍රී ලාංකීය විද්‍යාඥයින්, වෘත්තිකයින්, ව්‍යවසායකයින් බොහොමයක් ලොවපුරා ජීවත් වේ.

මෙම පිරිස් ලංකාවේ සංවර්ධනයට දායකවීමට උනන්දුවක් දක්වන නමුත් ඒ සඳහා නිසි විශ්වසනීය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් නොමැතිවීම බාධාවක් වී තිබුණි. ජාතික විද්‍යා පදනම මෙම අනගි මානව සම්පත භාවිත කිරීම සඳහා ගෝලීය ඩිජිටල් වේදිකාවක් සකස්කර තිබේ.

උතුරු අමෙරිකාව, යුරෝපය සහ ආසියාව වැනි මහද්වීපයන්හි සංවර්ධිත රටවල වෙසෙන කීර්තිමත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළත්ව 950ක් පමණ පිරිසක් ඩිජිටල් වේදිකාවේ ලියාපදිංචි වී ඇත.

මෙම විදෙස්ගත බුද්ධිමතුන්ගේ විෂය පථය වන ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, තොරතුරු විද්‍යාව, කළමනාකරණය, ඉංජිනේරු විද්‍යාව, පාරිසරික විද්‍යාව යනාදියේ සිට නැනෝ තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය වැනි බහු විෂයයික විද්‍යාවන් පුළුල් ලෙස විහිදෙන අතර එම දැනුම ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා යොදාගැනෙනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *