ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර සති දෙකකට වැඩි කාලයක් ගත වී ඇතත්, ලෙබනනය තුළ සිදුවන මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය අද (03) නිවේදනය කළේය. ඒ අනුව පසුගිය මාර්තු 2 වැනිදා සිට ක්‍රියාත්මක වූ ප්‍රහාර මාලාවන් හේතුවෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 2,679 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, අප්‍රේල් 17 වනදා සටන් විරාමය බලාත්මක වන විට මරණ සංඛ්‍යාව 2,294ක් ලෙස සටහන්ව තිබුණි. එහෙත් සටන් විරාමය ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා ගත වූ කෙටි කාලය තුළ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 385 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර, අද දිනයේද දකුණු ලෙබනනයේ නගර කිහිපයක පදිංචිකරුවන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව හදිසි නියෝගයක් නිකුත් කර ඇති අතර, මෙය සටන් විරාම එකඟතා උල්ලංඝනය වීමක් පිළිබඳ බරපතල සැකයක් ජාත්‍යන්තරය තුළ මතු කර තිබේ.














