අකුණු සහිත වැසි පවතින අවස්ථාවලදී ජංගම දුරකථන ආරෝපණය (Charge) කරමින් භාවිත කිරීම හේතුවෙන් සිදුවන මාරාන්තික අනතුරු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් සහ අනතුරු ඇඟවීමක් මතු වී තිබේ. බොහෝ දෙනා ජංගම දුරකථනවලට අකුණු ආකර්ෂණය නොවන බව පැවසුවද, එය සත්‍ය වන්නේ දුරකථනය කිසිදු විදුලි රැහැනකට සම්බන්ධ කර නොමැති විට පමණක් බව තාක්ෂණික විශේෂඥයෝ පෙන්වා දෙති.
දුරකථනයක් ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කර ඇති විට, අකුණක් විදුලි රැහැන් පද්ධතියට වැදුණු සැණින් එම අධික විදුලි ධාරාව රැහැන් දිගේ පැමිණ දුරකථන චාජරය සහ වයරය හරහා එය භාවිත කරන පුද්ගලයාගේ ශරීරයට ඇතුළු වීමේ සෘජු අවදානමක් පවතී. අකුණක පවතින අතිවිශාල වෝල්ටීයතාවය දරා ගැනීමට දුරකථනයක ඇති කුඩා පරිපථවලට හැකියාවක් නොමැති බැවින්, එම විදුලි බලය ක්ෂණිකව ශරීරගත වීමෙන් මොළයට සහ ස්නායු පද්ධතියට බරපතල හානි සිදුවිය හැකිය.
විශේෂයෙන්ම කන් අසල තබාගෙන දුරකථනය භාවිත කරන විට එම විදුලි සැර කෙලින්ම මොළයට බලපෑම් කළ හැකි අතර, එය ක්ෂණික මරණයට පවා හේතු විය හැකි බව මෑතකදී වාර්තා වූ සිදුවීම් මගින් තහවුරු වේ. මේ නිසා විදුලි කෙටීම් පවතින අවස්ථාවලදී දුරකථන ආරෝපණය කිරීමෙන් වැළකී සිටින ලෙසත්, සියලුම විදුලි උපකරණ පේනුවෙන් ඉවත් කර තැබීමට වගබලා ගන්නා ලෙසත් ආරක්ෂක අංශ සහ විදුලි ඉංජිනේරුවෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.














