2026 වසරේ පළමු නිල උණුසුම් කාලගුණික රැල්ල (Heatwave) හේතුවෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබේ. මේ දැඩි උණුසුම හමුවේ හිරු එළියට වැඩිපුර නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත් බලධාරීන් ජනතාවට අනතුරු අඟවා ඇත.
ස්පාඤ්ඤයේ කලාප 17න් 17ක් සඳහාම උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ඉන් 13ක් තැඹිලි වර්ණයෙන් (Orange Alert) සහ වයඹදිග බැස්ක් කලාපය රතු වර්ණයෙන් (Red Alert) ඉහළම අවදානම් මට්ටමේ පවතියි. මෙම උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි බ්‍රහස්පතින්දා දක්වා පවතිනු ඇතැයි කාලගුණ අනාවැකි පවසයි.
මේ අතර, අසල්වැසි රටවලද උණුසුම් කාලගුණය හේතුවෙන් විවිධ සීමා කිරීම් ක්‍රියාත්මක කර ඇත. ප්‍රංශයේ දුම්රිය සේවය අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට දුම්රිය ගමන් කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇති අතර, ප්‍රංශය තුළ මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් සීමාවන් පනවා ඇත. මීට අමතරව, ජර්මනිය පුරා කාලගුණික අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ස්පාඤ්ඤයේ පාපන්දු රසික කලාප කිහිපයක්ද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
















