27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා හෙද සභාවේ නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා දෙවන හෙද සභාවේ නව නිලධාරී මණ්ඩලය වෙත පත්වීම් ලිපි ප්‍රදානය අද (02) සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

2016 වසරේදී පළමු හෙද සභාව පිහිටවූ අතර අනතුරුව එහි නිල කාලය අවසන්ව වසර 05 කින් එය විසුරුවා හැරිණි.

යළි පසුගිය වසරේ දෙසැම්බර් 11 වන දා දෙවන හෙද සභාව සදහා වන නිලවරණය පවත්වනු ලැබීය . එම නිලවරණයෙන් තේරී පත් වූ නිලධාරීන් 19 දෙනෙකු සදහා ඊයේ දින (02) පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු විය.

පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, මෙම පත්වීම් සරල පත්වීම් නොවන බවත්, ඔවුන් හට විශාල වගකීම් සම්භාරයක් පැවරී ඇති බවත්ය. ඡන්දයෙන් සහ නිල බලයෙන් පත්කිරීම් සිදුවුවද , කුමන ආකාරයට පත් වුවත් ඔවුන්ගේ වගකීම්වල කිසිදු වෙනසක් නොවන බව ද පෙන්වා දෙන ලදි. කුමන තරාතිරමෙන්ද, කුමන අංශයෙන් ද, කුමන වෘත්තීය සමිතියෙන් ද යන්න අදාල නොවන බවත්, ආදාල වන්නේ තමාගේ රාජකාරිය, යුතුකම් සහ වගකීම් නිසි පරිදි ඉෂ්ඨ කිරිම බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

වගකීම්, යුතුකම්, කාර්යභාරය සම්බන්ධව ඉතාම නිදහස්ව, නිරවුල්ව, මධ්‍යස්ථව, අපක්ෂපාතීව සියළු දෙනාටම කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට තමා විශ්වාසය තබන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, අතිරේක ලේකම්වරුන් වන ඒ.එන්.එම්.කේ අත්තනායක, චන්ද්‍රසේන පල්ලේගම, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ. යෝගචන්ද්‍ර යන මහත්මින් ඇතුලු හෙද නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *