කඳුකරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ලිඳුල නාගසේන ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය දැඩි නායයෑමේ තර්ජනයකට ලක්වී ඇති බව විහාරාධිපති පූජ්‍ය උඩුගම පියදස්සි හිමියෝ පවසති.
විහාරස්ථානය සමීපයෙන් ගලා බසින අග්‍රා ඔයේ අධික ජල ධාරිතාව නිසා විහාරස්ථාන ඉඩම ඔයට සේදීයෑමෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ. මේ හේතුවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරමින් පවතින චෛත්‍යයද ඉරිතලා පුපුරා ගොස් ගිලාබැසීමට ලක්ව ඇති අතර, මුළු විහාරස්ථානයම දැඩි අවදානමකට මුහුණ දී ඇත. උඩරට වතුකරයේ පිහිටි මෙම ඓතිහාසික විහාරස්ථානය දුෂ්කරතා මැද පවත්වාගෙන යන්නක් වන බැවින්, එය ආරක්ෂා කර ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
















