ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පාද තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ මඟපෙන්වීමෙන් ලංකාවේ බෞද්ධ හා හෙළ සංස්කෘතික වටිනාකම් විදහාපාමින් ඓතිහාසික ශාසනික පිංකම් රැසක් සිදු කර තිබේ.
මෙම පිංකම් මාලාව යටතේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ, ඒ වටා රන් වැට, බෝධි ප්‍රාකාරය හා රන්වැට, මෛත්‍රී බෝධිසත්ත්ව ප්‍රතිමා වහන්සේ, සිරි පතුල සහ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සිදු කෙරිණි. තවද, තුන්තිස් පැයේ පිරිත් දේශනාව, බොදු බැති ගී සහ බෞද්ධ නර්තනාංගවලින් යුත් ආමිෂ හා ප්‍රතිපත්ති පූජා පැවැත්වුණු අතර, ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු ආගමික බැතිමතුන්ට බණ භාවනා කටයුතු සිදු කිරීම සඳහා ‘සදහම් සෙවණ වැඩිහිටි මධ්‍යස්ථානය’ විවෘත කිරීමද මෙහිදී සිදු විය. මෙම උතුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යසිත් වීරසූරිය, රාජා එදිරිසූරිය සහ සභාපති සංජීව ගුණසේකර යන මහත්වරුන් ඇතුළු සැදැහැති පින්වතුන් රැසකගේ දායකත්වය හිමි වී ඇත.
















