රට තුළ පවතින ගෑස් සැපයුම් ගැටලුව සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එමඟින් ඔවුන් සඳහන් කර ඇත්තේ ඇති වූ සැපයුම් බාධාවන් කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අවශ්ය සියලු පියවර මේ වන විට ගෙන ඇති බවයි. අද (16) දිනය වන විට ගෑස් සැපයුම සඳහා අවශ්ය මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් ‘GAS GOODWILL’ නෞකාවේ ගොඩබෑමේ කටයුතු සිදු කරමින් පවතින බවද සමාගම පවසයි. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ දෛනික අවශ්යතාවයට ද වඩා වැඩි ප්රමාණයක් වන කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ත් 100,000ත් අතර ප්රමාණයක් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව ගෑස් පිරවීමේ සහ බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බවත් එම නිවේදනයේ සඳහන් වේ. තවද, මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් ‘FRANCOIS’ නෞකාව එළැඹෙන 18 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත අතර, මෙම සැපයුම් තොග ලැබීමත් සමඟ රට තුළ ගෑස් සැපයුම තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳපොළට සාමාන්ය පරිදි ගෑස් බෙදා හැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇත.
















