බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ දරුවන්ගේ පහසුව උදෙසා ඉදි කළ “Little Roots” රජයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල අද (08) විවෘත කෙරිණි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කළ සමූහ ව්‍යාපෘතියකි.
සමස්ත චීන කාන්තා සම්මේලනය විසින් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය වෙත ප්‍රදානය කළ භාණ්ඩ සහ උපකරණ මෙම මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා උපයෝගී කර ගෙන තිබේ. මුල් අදියරේදී පාර්ලිමේන්තු සහ කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ දරුවන් සඳහා මෙය විවෘත වන අතර, ඉදිරියේදී බත්තරමුල්ල සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය ආයතන දක්වා ද මෙම සේවාව පුළුල් කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. කාර්යබහුල රාජ්‍ය සේවකයින්ට සහාය වෙමින් දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය තහවුරු කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණයි.














