පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමඟ පැවැති චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ තීරණාත්මක තරගය අතරතුරදී ලිවර්පූල් ප්‍රහාරක හියුගෝ එඩිටිකේ මුහුණ දුන් ආබාධය ඉතා බරපතල එකක් විය හැකි බව එම කණ්ඩායමේ කළමනාකරු ආර්න් ස්ලොට් පවසයි. තරගය ආරම්භ වී මිනිත්තු 30ක් ගතවන විට පන්දුව නොමැති අවස්ථාවකදී සිය වළලුකර ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවූයේ දෝලාවක ආධාරයෙනි. මෙම තරගයෙන් ලිවර්පූල් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය වී තරගාවලියෙන් ඉවත් වූ අතර, එඩිටිකේගේ ආබාධය පිළිබඳව අදහස් දක්වමින් ස්ලොට් සඳහන් කළේ එය දැකීමට පවා අපහසු තරම් දරුණු ස්වභාවයක් ගත් බවයි.
මෙම වාරයේදී ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් සියලුම තරගාවලි හරහා ගෝල 17ක් වාර්තා කර ඇති එඩිටිකේගේ මෙම පසුබෑම කණ්ඩායමට මෙන්ම ඔහුටද දැඩි බලපෑමක් එල්ල කරයි. විශේෂයෙන්ම ඉදිරියේදී උතුරු ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රංශ සංචිතයට ඇතුළත් වීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටි බැවින්, මෙම ආබාධය ඔහුගේ එම සිහිනයටද බාධාවක් විය හැකිය. ඔහුගේ කණ්ඩායම් සගයෙකු වන ඉබ්‍රාහිමා කොනාටේ ද ප්‍රකාශ කළේ මෙය ඉතා අසීරු අවස්ථාවක් බවත්, ලෝක කුසලානය ආසන්නයේ මෙවැනි දෙයක් සිදුවීම කණගාටුදායක බවත්ය.














