කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජූනි 8 වන දින පෙ.ව. 10.30 දක්වා වලංගු වන පරිදි දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මේ හේතුවෙන් නාවික සහ ධීවර ප්‍රජාවට එම ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස බලධාරීන් උපදෙස් ලබා දෙයි.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර, එහිදී පැයට කිලෝමීටර් 60-70ක් දක්වා වේගයකින් තද සුළං ඇති විය හැකිය. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත්, එහි සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60ක් ලෙස පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සාගර කාලගුණ විද්‍යා අංශය පවසයි.
එසේම, මන්නාරමේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0-2.5ක් පමණ දක්වා ඉහළ යා හැකිය. අදාළ ප්‍රදේශවල අවදානම් මට්ටම ඉතා ඉහළ බව බලධාරීන් ප්‍රකාශ කරන අතර, ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඉල්ලා සිටී.
















