ලෝක සාමය පෙරදැරි කරගෙන විදේශීය භික්ෂූන් වහන්සේලා පිරිසක් පවත්වන පාගමනේ නිහඬ බව සහ විනය ආරක්ෂා කිරීමට ජනතාව සහාය නොදක්වන්නේ නම් පාගමන නතර කරන බව එහි නිරත භික්ෂූන් වහන්සේලා අද (24) අවධාරණය කළහ.
පාගමනේ තෙවන දිනය වූ අද, ජනතාව ඉවසීමෙන් සහ නිහඬව කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් පාගමන තවදුරටත් ඉදිරියට රැගෙන නොයන බවත් උන්වහන්සේලා සඳහන් කළහ.
මහනුවර සහ මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පෙන්වා දෙන්නේ යූටියුබ්කරුවන් සහ ඡායාරූප ශිල්පීන් භික්ෂූන් වහන්සේලාට සමීප වෙමින් සිදුකරන බාධා කිරීම් නිසා උන්වහන්සේලා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි. ඇමරිකාව වැනි රටවල මෙවැනි බාධා එල්ල නොවූ බව ද ඔහු පෙන්වා දුන්නේය
සාම පාගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව ගමන් කිරීමට කිසිදු පාර්ශවයකට අවසර නොදෙන බව පොලිසිය දැනුම් දෙයි. ජනතාවට පාගමන නැරඹීමට අවස්ථාව ඇතත්, දඹුල්ලේදී ඡායාරූප ගැනීමට උත්සාහ කළ පිරිසක් නිසා පොලිසිය සමඟ උණුසුම් තත්වයක් ද ඇති විය.
පාගමනට එක්ව සිටින ‘ආලෝකා’ නැමැති සුනඛයා මේ වන විට රෝගාතුරව සිටින අතර, පොලිස් නිල සුනඛ අංශයේ අධීක්ෂණය යටතේ ගිලන් රියක රඳවා ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම කරුණු අනාවරණය වූයේ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.














