බල්ලකෙටුව දෙස සිට දෙමෝදර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ ලිස්සන ස්වභාවය හේතුවෙන් පාලනය කර ගැනීමට නොහැකිව අඩි සියයක් පමණ පහළින් පිහිටි ගඟකට පෙරළී අනතුරක් සිදුව තිබේ.
පෙරේදා (03 දා) උදෑසන 5:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියැදුරු දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත. අනතුරින් ලොරි රථයට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර, ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, තේ වත්තක මාර්ගය අයිනේ පිහිටි ගසක ඇට සහ කොළ අධික ලෙස මාර්ගයට වැටීමත් සමඟ පවතින බෑවුම් ස්වභාවය නිසා මාර්ගය අධික ලෙස ලිස්සා යාම මෙම අනතුරුවලට ප්‍රධාන හේතුවයි. මෙම අනතුර සිදුවූ දිනම එම ස්ථානයේම යතුරුපැදියක් සහ තවත් ලොරි රථයක්ද ලිස්සා යාමට ලක්ව ඇත. මෙම අනතුරුදායක තත්ත්වය අවම කිරීම සඳහා මාර්ගයට අභියෝගයක් වී ඇති ගසේ අතු කපා ඉවත් කර ඇට සහ කොළ වැටීම අවම කර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.
















