2026 වසරේ LPL (Lanka Premier League) තරඟාවලිය අති උත්කර්ෂවත් ලෙස ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මෙවර සමාරම්භක උත්සවයේ විශේෂාංගය වන්නේ ඩ්‍රෝන යානා 500ක් යොදා ගනිමින් පැවැත්වෙන දැවැන්ත ගුවන් සන්දර්ශනයයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟාවලියක මෙතෙක් පැවැත්වූ විශාලතම සහ ආකර්ෂණීයම සමාරම්භක උත්සවය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.
තරඟාවලියේ නිල අයිතිය දරන IPG සමූහය විසින් සංවිධානය කරනු ලබන මෙම උළෙල, ශ්‍රී ලාංකේය ක්‍රිකට් අභිමානය සහ ක්‍රීඩාශීලීත්වය ලොවට විදහා දක්වන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.
සමාරම්භක උත්සවය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එහිදී ඩ්‍රෝන යානා 500ක ගුවන් සන්දර්ශනයක් දැකගත හැකිය. තරඟාවලිය සඳහා වන ප්‍රවේශ පත්‍ර ජූලි 1 වැනිදා සිට BookMyShow වෙබ් අඩවිය හෝ ඇප් එක හරහා මිලදී ගත හැකිය.
IPG සමූහයේ සභාපති අනිල් මෝහන් මහතා සඳහන් කළේ, මෙය හුදෙක් ක්‍රිකට් තරඟාවලියකට පමණක් සීමා නොවී, ප්‍රේක්ෂකයන්ට ජීවිත කාලයටම මතක හිටින අත්දැකීමක් ලබා දීම සිය අරමුණ බවයි. තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා වැඩිදුරටත් කියා සිටියේ, කොළඹ SSC පිටියේදී පැවැත්වෙන මෙම සමාරම්භය, මෙවර තරඟාවලියේ සාර්ථකත්වයට සහ උද්යෝගිමත් ආරම්භයට කදිම පදනමක් වනු ඇති බවයි.
දක්ෂතම දේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ප්‍රබල කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් මෙවර තරඟාවලිය පැවැත්වේ. මෙම නව්‍ය අත්දැකීම විඳගැනීමට සහ ක්‍රිකට් තරඟවල උද්යෝගය අත්විඳීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාවී ඇත.














