කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර පියවර සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව පහකි. මීට පෙර අත්අඩංගුවට ගත් බන්ධනාගාර ජේලර්වරයෙකු සහ නියාමකවරුන් දෙදෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන මැයි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සහ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.












