මහරගම, පමුණුව පාරේ එක්සත් සුබසාධක මාවතේ පිහිටි දෙමහල් නිවසක ඇති වූ බිහිසුණු ගින්නකින්, එහි කුලී පදනම මත පදිංචිව සිටි මවක සහ දියණියක මියගොස් ඇති අතර, ගිනි තැබීම සිදුකළ බවට සැකකරු ද රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 55 හැවිරිදි එම්. බී. රත්නකාන්ති වික්‍රමආරච්චි සහ ඇයගේ 16 හැවිරිදි දියණිය වූ වත්සරණි රත්නායක යන අයයි. බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ දැරියගේ පියා (46) මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන 76 හැවිරිදි නිවෙස් හිමියා ද ගින්නට හසුවී ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මියගොස් තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, නිවසේ කුලී මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් නිවෙස් හිමියා සහ ඔහුගේ පුත්‍රයා අතර පැවති ආරවුලක් මෙම අපරාධයට මුල් වී ඇත. ඉහළ මාලයේ කුලී මුදල පුත්‍රයා විසින් ලබාගැනීම පිළිබඳව කෝපයෙන් සිටි නිවෙස් හිමියා, පෙට්‍රල් රැගෙන ගොස් ඉහළ මාලයට ගිනි තබා ඇති බවට සැක කෙරේ. නුගේගොඩ මහේස්ත්‍රාත් ඩෙස්මන්ඩ් ජයසේකර මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














