පිඹුරත්තෑව, අලුත් වැව ප්‍රදේශයේදී ඇළකට වැටී ජල පහරට හසුවූ වන අලියෙකු බේරාගැනීමට ගිය වනජීවී නිලධාරීන්ගේ කැබ් රථයකට සහ යතුරුපැදි 4කට එම අලියා විසින්ම පහර දී අලාභහානි සිදුකළ පුවතක් වාර්තා වේ.
ඇළට වැටුණු වන අලියා ජල සැඩ පහරට හසුව කිලෝමීටර් 20ක් පමණ ගසාගෙන ගොස් තිබූ අතර, පිඹුරත්තෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දරා මැදගම ප්‍රදේශයෙන් අලියා ගොඩට ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, ඇළෙන් ගොඩට පැමිණි වහාම කුපිත වූ අලියා වනජීවී නිලධාරීන් පැමිණි කැබ් රථයට පහර දී බරපතළ හානි සිදුකර තිබේ.
අලියා කැබ් රථය පසුපසට තල්ලු කිරීමේදී ඒ අසල නවතා තිබූ වනජීවී නිලධාරීන්ගේ යතුරුපැදි දෙකක් සහ සිවිල් වැසියන්ගේ යතුරුපැදි දෙකක් ද කැබ් රථයට යට වී විනාශ වී ඇත. මෙමගින් රුපියල් ලක්ෂ 10ක පමණ දේපළ හානියක් සිදුව ඇති බව ගණන් බලා තිබේ. පසුව වන අලියා මැදගම රක්ෂිතය දෙසට පළා ගොස් ඇති අතර වනජීවී නිලධාරීන්ට මෙයින් හානියක් සිදු වී නොමැත.














