ජනතාව අතර අතිශය ජනප්රියත්වයට පත්ව සිටි ‘කාවන්තිස්ස’ හස්තිරාජයාගේ වියෝව වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා සංවේදී සටහනක් තබමින් අවසන් ගෞරවය පුද කර තිබේ.
“ද්විරද ගජ කාවන්තිස්ස, මහා වනාන්තරයේ රජුව අවසන් වරට වනාන්තරය විසින්ම තම හදවතට තුරුළු කර ගත්තා යැයි සිතමි” යනුවෙන් සිය සටහන ආරම්භ කර ඇති හිටපු ජනාධිපතිවරයා, මෙරට ඉතිහාසය, සංස්කෘතිය සහ බුදු දහම තුළ ඇතුන්ට හිමි සුවිශේෂී ස්ථානය සිහිපත් කර ඇත.
ශ්රී ලංකාවේ ඉතිහාසය පුරා ඇතුන් රාජ්යත්වය, ආගමික උත්සව සහ සංස්කෘතික සම්ප්රදායන් සමඟ බැඳී සිටි බව පෙන්වා දෙන ඔහු, මහාවංශයේ සිට සිරි දළදා පෙරහැර සහ රාජාභිෂේක දක්වා ඇතුන්ගේ දායකත්වය සිය සටහනෙන් අවධාරණය කර තිබේ. එසේම, ඉතිහාසයේ රජෙකුට සම කළ ‘කඩොල්’ ඇතා පිළිබඳවද ඔහු සිහිපත් කර ඇත.
ඇතා යනු මෙරට සංස්කෘතිය තුළ ඉතිහාසය, ආගම, කලාව සහ ජනජීවිතය සමඟ බැඳුණු ජීවමාන සංකේතයක් බව සඳහන් කරන මහින්ද රාජපක්ෂ මහතා, ඇත් පරපුර රැකගැනීමේ වැදගත්කමද සිය සටහනෙන් මතු කර තිබේ.
“අභිමානය, ශක්තිය, ඉවසීම සහ කරුණාව දරාගත් මිනිස් හදවතක් සහිත, මව්බිම හැඩ කළ අප ඇත් පරපුරෙහි මහ ඇතුට සුබ ගමන්…” යනුවෙන් සටහන අවසන් කරමින් ඔහු කාවන්තිස්ස හස්තිරාජයාට අවසන් ගෞරවය පුද කර ඇත.
















