බලය ලබාගැනීම වෙනුවෙන් නව වසර තුළ දැවැන්ත දේශපාලන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත්, ඉදිරියේදී සිදුවන දේශපාලන වෙනස සඳහා තම පක්ෂය සූදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ වැඩකටයුතු අද (20) ආරම්භ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා සහ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට හිටපු සහ වත්මන් මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ. මෙවර මැයි දිනය වෙසක් පොහොය දිනට යෙදී ඇති බැවින් තම පක්ෂය මැයි දින සැමරුම් සිදු නොකරන බවද ඔහු මෙහිදී අනාවරණය කළේය.
එසේම, තමාට අලුත් අවුරුද්ද සුබ වුවද පවතින තත්ත්වය හමුවේ මෙරට ජනතාවට මෙවර අලුත් අවුරුද්ද නිසි ලෙස සැමරීමට අවස්ථාව නොලැබුණු බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.














