මැලේසියානු තරුණ සහ බාලවයස්කාර පිරිස් අන්තර්ජාලය ඔස්සේ මුහුණ දෙන විවිධ අවදානම් මෙන්ම අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින් ලබන ජූනි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව නීති මාලාවක් හඳුන්වා දීමට මැලේසියාවේ සන්නිවේදන නියාමන ආයතනය තීරණය කර තිබේ. වර්තමාන ඩිජිටල් අවකාශය තුළ දරුවන් මුහුණ දෙන සයිබර් තර්ජනවලින් ඔවුන්ව ආරක්ෂා කරගැනීම සඳහා රාජ්‍ය මට්ටමින් ගනු ලැබූ විශේෂ පියවරක් ලෙස මෙය සැළකේ.
මෙම නව නීති මාලාවේ ප්‍රධානතම අරමුණ වන්නේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය ගිණුම් ලියාපදිංචි කිරීම සහ ඒවායේ හිමිකාරීත්වය දැරීම සීමා කිරීමයි. මීට අමතරව සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ සීඝ්‍රයෙන් පැතිර යන අසත්‍ය තොරතුරු, ව්‍යාජ පුවත් සහ ළමා මනසට නුසුදුසු අහිතකර අන්තර්ගතයන් දැඩි ලෙස පාලනය කිරීම ද මෙමඟින් සිදු කෙරේ. මේ හරහා දරුවන්ගේ වයස් මට්ටම්වලට ගැළපෙන පරිදි උපරිම සන්නිවේදන ආරක්ෂාවක් සැපයීමටත්, ඉහළ අවදානමක් සහිත අන්තර්ජාල සේවා භාවිතයන් සීමා කිරීමටත් මැලේසියානු රජය අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.














