ඔස්ට්‍රේලියාවේ පර්ත් (Perth) නුවර පිහිටි ජනප්‍රිය රොට්නස්ට් දූපත (Rottnest Island) ආශ්‍රිත මුහුදේ සිදුවූ දරුණු මෝර ප්‍රහාරයකින් 38 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අඩි 13ක් (මීටර් 4ක් පමණ) දිගින් යුත් ‘මහා සුදු මෝරෙකු’ (Great White Shark) විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
පසුගිය 15 වැනිදා රාත්‍රී 10ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වෛද්‍යවරුන් සහ පොලිසිය විසින් වහාම බෝට්ටුවක් මගින් ගොඩබිමට රැගෙන ආවත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත. පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසු බටහිර ඔස්ට්‍රේලියානු කලාපයෙන් වාර්තා වූ පළමු මාරාන්තික මෝර ප්‍රහාරය මෙය වේ.
දත්ත වාර්තාවලට අනුව, වර්ෂ 1791 සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් මෝර ප්‍රහාර 1,300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගල මරණ 260කට වඩා සිදුව ඇත. මෙම ඛේදවාචකයත් සමඟ එම වෙරළ තීරයේ ආරක්ෂාව සහ නිරීක්ෂණ කටයුතු දැඩි කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.















