වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු හඳුනා ගැනීමේ අංකය (TIN Number) ලබා නොගැනීම, නිසි ලෙස බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ පෙනී නොසිටීම අපරාධමය වරදක් බවට පත් කෙරෙන නව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන මැයි මස 19 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඩොලර් බිලියන 2.9ක ණය සහනයේ එකඟතා අනුව රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක ඉලක්කයක් වෙත රැගෙන යාම සඳහා මෙම සංශෝධන හඳුන්වා දෙන බවයි. මේ පිළිබඳව අදහස් දැක්වූ බදු පිළිබඳ ප්‍රමුඛ නීතිඥයකු වන සුරේෂ් පෙරේරා මහතා පෙන්වා දුන්නේ, මෙම පනත මඟින් ජනතාව අතින් නොදැනුවත්ව මඟහැරෙන සාමාන්‍ය බදු පැහැර හැරීමක් පවා අපරාධ වරදක් සේ සලකා රුපියල් 400,000ක දඩයක් හෝ මාස හයක් දක්වා සිරදඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකි බවයි. කෙසේ වෙතත්, මෙම දැඩි වගන්ති රජය විසින් ඉදිරියේදී සංශෝධනය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබේ. ඔහු අවධාරණය කරන්නේ ජීවත් වීමට වෙහෙසෙන සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු සහ හිතාමතා මිලියන ගණනින් බදු පැහැර හරින මහා පරිමාණ ජාවාරම්කරුවෙකු මෙමඟින් එකම තරාදියක ලා සලකා ඇති බවයි. බදු ක්‍රමය නිවැරදි කර එය ගෙවීමට පහසු මඟක් සකසනවා වෙනුවට, රජය කරන්නේ සාමාන්‍ය ජනතාව අපරාධකරුවන් කිරීමේ කෙටි මාවතක් තෝරාගැනීම බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.















