මැන්චෙස්ටර් ගුවන්තොටුපළ හරහා විශාල වශයෙන් කොකේන් ජාවාරම් කිරීමේ සංකීර්ණ කුමන්ත්‍රණයකට සම්බන්ධ වූ අපරාධ කල්ලි දෙකක සාමාජිකයින් පිරිසක් ජාතික අපරාධ ඒජන්සිය (NCA) විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සිරගත කර තිබේ. මෙම ජාවාරම සඳහා ඇමරිකාවේ සිට පැමිණි කුලී පදනම මත සේවය කළ පුද්ගලයින් පිරිසක් යොදාගෙන ඇති අතර, ඔවුන් මැන්චෙස්ටර් වෙත පැමිණෙන්නේ ගමන් මලු නොමැතිව වන අතර, මෙක්සිකෝවේ කැන්කන් නුවර සිට එන ගුවන් යානාවලින් ලැබෙන කොකේන් පිරවූ ගමන් මලු ලබාගෙන දේශීය ජාවාරම්කරුවන්ට භාර දීම ඔවුන්ගේ කාර්යය වී තිබුණි. 2024 මැයි 11 වන දින ගමන් මලු 8ක් හරහා කිලෝග්‍රෑම් සිය ගණනක් කොකේන් ජාවාරම් කර ඇති අතර, ඊට සති කිහිපයකට පසු, 2024 මැයි 31 දින ගමන් මලු 12ක තිබී පවුම් මිලියන 24ක් වටිනා කිලෝග්‍රෑම් 300ක අධි සාන්ද්‍රිත කොකේන් තොගයක් ගෙන ඒමට උත්සාහ කළ අතර, එයින් බොහොමයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.බෝල්ටන් ක්‍රවුන් අධිකරණය විසින් මෙම ජාවාරමට සම්බන්ධ වූ එල්ටන් හලසි (Elton Hallaci) සඳහා වසර 21කුත් මාස 7ක සිර දඬුවමක් ද, ආටූර් ඉසෙබෙරි (Artur Iseberi) සඳහා වසර 18ක සිර දඬුවමක් ද, ඩේල් ක්‍රීන් (Dale Creen) සඳහා වසර 11ක සිර දඬුවමක් ද නියම කර ඇත. ඩේල් හොස්කර් (Dale Hosker) සඳහා දඬුවම් නියම කිරීම ජූනි 01 වන දිනට කල් තබා ඇත. NCA නිලධාරීන් විසින් හලසිගේ නිවසේ සිදු කළ සෝදිසියකදී රහස් කුටීර සහිත ‘ජගුවාර්’ (Jaguar) වර්ගයේ මෝටර් රථ කිහිපයක් සහ කොකේන් ආනයනය කළ ආකාරය විස්තරාත්මකව සඳහන් කර තිබූ අත්පොත් සොයා ගැනීමට හැකි වූ අතර, එම අත්පොත්වල ඇල්බේනියානු භාෂාවෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරිය යුතු නගර වන ලන්ඩන්, බර්මින්හැම් සහ බ්‍රැඩ්ෆෝර්ඩ් ආදිය සඳහන් කර තිබුණි. NCA ශාඛා අණදෙන නිලධාරී කැට් මැක්හියු මහත්මිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම යනු වින්දිතයින් නොමැති අපරාධයක් නොවන බවත්, දකුණු ඇමරිකාවේ සිට අපේ රටේ වීදි දක්වා මෙම ජාවාරම මගින් විශාල විනාශයක් සහ හානියක් සිදුවන බවත්, අපරාධකරුවන් මුදල් කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර, ඔවුන් නිසා අහිංසක මිනිසුන් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වන බවත් ඇය අවධාරණය කළාය.















