මෝෆීන් වලට වඩා 1,000 ගුණයක් බලවත් ‘නයිටසීන්’ (Nitazene) නම් අධි බලැති මත්ද්‍රව්‍ය සැපයීම සහ අවම වශයෙන් දෙදෙනෙකුගේ මරණයට වක්‍රව සම්බන්ධ වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි රොබට් පොලෙෂැක් (Robert Poleszak) නම් පුද්ගලයෙකු, තමන් සිදු කළ තවත් දරුණු අපරාධ රැසකට වරදකරු බව රීඩින් ක්‍රවුන් (Reading Crown Court) අධිකරණය හමුවේ පිළිගෙන තිබේ. පෝලන්ත ජාතිකයෙකු වන 45 හැවිරිදි මොහු, තමන් විසින් කාණ්ඩ ඒ (Category A) ගණයට අයත් ඉතා දරුණු මට්ටමේ ළමා අසභ්‍ය දර්ශන 5,134ක් නිර්මාණය කර ඇති බවත්, අන්ත අසභ්‍ය දර්ශන සන්තකයේ තබාගෙන ඇති බවත් අධිකරණයේදී පිළිගෙන ඇත. මීට අමතරව කොකේන්, ක්‍රැක් කොකේන් සහ මෙතිලැම්ෆෙටමින් සැපයීම ඇතුළු මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනා 20කට ඔහු වරදකරු වේ. මොහු ‘ඩාර්ක් වෙබ්’ (Dark Web) හරහා ව්‍යාජ ඔක්සිකෝඩෝන් (Oxycodone) පෙති ලෙස හඳුන්වමින් නයිටසීන් අඩංගු පෙති විශාල ප්‍රමාණයක් අලෙවි කර ඇති අතර, එම නිෂ්පාදන භාවිතා කළ පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු අධි මාත්‍රාව (Overdose) හේතුවෙන් රෝහල්ගත වූ බව සඳහන් වේ. 2025 පෙබරවාරි මස කෝන්වෝල්හි සිදු වූ මරණයකට සහ මැයි මස හෙන්ලි-ඔන්-ටේම්ස් හි සිදු වූ මරණයකට මොහු සැපයූ මත්ද්‍රව්‍ය සම්බන්ධ බවට සාක්ෂි ලැබී ඇති අතර, දෙවන සිද්ධියේදී සොයාගත් මත්ද්‍රව්‍ය පැකට්ටුවේ පොලෙෂැක්ගේ ඇඟිලි සලකුණු හඳුනා ගැනීමට විමර්ශකයින් සමත් විය.
ජාතික අපරාධ ඒජන්සිය (NCA) විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව 2025 ඔක්තෝබර් 1 වන දින පොලෙෂැක් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුගේ නිවසේ සිදු කළ සෝදිසියකදී රසායනාගාරයක්, පෙති නිපදවීමට ගන්නා උපකරණ සහ මත්ද්‍රව්‍ය තොග සොයා ගැනීමට පොලිසියට හැකි විය. ඔහුගේ ජංගම දුරකථනයේ ඔහු විසින්ම පෙති නිෂ්පාදන යන්ත්‍රයක් සකසන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද තිබී හමුවිය. 2023 ජුනි මාසයෙන් පසු එක්සත් රාජධානිය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය මරණ 1,000කට අධික ප්‍රමාණයකට මෙම කෘතිම ඔපියොයිඩ් මත්ද්‍රව්‍යය සම්බන්ධ වී ඇති බව NCA වාර්තා කරයි. සැකකරුට දඬුවම් නියම කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.















