27 April 2024
#දේශීය

රනිල්ගේ අත්දැකීම් දැනුම රටට අවශ්‍ය බව මංගල කියයි

රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක් බවත් එතුමාගේ වයස නෙවෙයි, එතුමාගේ තියෙන අත්දැකීම් දැනුම් සම්භාරයන් මේ රටට අවශ්‍ය බව හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර අප්‍රේල් 10 වැනි දින ‘SL VLOG’ හි නිදහස් මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ සමග පැවති සම්මුඛ සාකච්ජාවේ උපුටා ගත් කොටස පහත පරිදි වේ.

ප්‍රශ්නය :

එක සිද්ධියක් මතක් කරමු? මිස්ටර් බීන් කියලා රනිල් වික්‍රමසිංහට රට පුරාම කැම්පේන් කළේ ඔබ. ඒක ශීලාචාරද ශිෂ්ටසම්පන්නද?

 

මංගල:

රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක් කියලා අද එතුමා එක්ක කවුරුත් නැති මේ මොහොතේදීත් මම දැඩිව පිළිගන්නවා. එතුමාගේ වයස නෙවෙයි, එතුමාගේ තියෙන අත්දැකීම් දැනුම් සම්භාරයන් මේ රටට අවශ්‍යයි කියලා මම පිළිගන්නවා.

 

නමුත් අනික් පැත්තෙන් ඒ දේශපාලනය මම නම් කියන්නේ අශිෂ්ටම නෙවෙයි. ඇත්තනේම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ අපි පොඩි පොඩි විහිළු කරනවා. අපිට හිටපු ප්‍රභලම ප්‍රතිවාදියා හැටියට, ඒක ඇත්ත වශයෙන්ම විහිළුවක්. මම දැකලා තියෙනවා ඊට වඩා ඉතාමත් බරපතල විහිළු ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය වගේ රටවල්වලත් වෙනවා.

 

ඒක නෙවෙයි මම නම් කියන්නේ කුහකකම අශිෂ්ටභාවය කියලා.

 

තමන් දේශපාලනයට ඇවිල්ලා තමන්ගේ බලය තව කෙනෙක් පාගා දමන්නට තව කෙනෙක් වෙනුවෙන් අයථා ලෙස යොදවා ගැනීම මම දකින්නේ අශිෂ්ට ලෙස පාවිච්චි කිරීම කියලා.

 

එක අවස්ථාවකදී මම සෘජුව සම්බන්ධ නොවුනත් මමත් ඒකට දායක වුණා. මොකද ඇත්තටම මට හිතෙනවා 2001 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්දයකින් දිනලා අගමැතිවෙලා ආණ්ඩුවක් පිහිටපු වෙලාවේ, අපි එතුමාගේ අමාත්‍යංශ හතරක් පවරගෙන යලි වතාවක් ඡන්දයට යෑම පාර කැපීම වරදක්. ඒගැන එක්තරා අන්දමකින් මගේ හෘද සාක්ෂියේ තියෙනවා පොඩි කැලලක්. ඒකෙන් තමයි මේ රටේ ඉතිහාසයත් යන මාර්ගයත් වෙනස් වුණේ.

 

අනික් පැත්තෙන් මම කියන්න කැමතියි. අවුරුදු 31 න් අවුරුදු 15 විතර මම ඇමති කෙනෙක් වශයෙන් හිටියා. මම කවදාවත් ඇමති කෙනෙක් හැටියට අයුතු ලෙස බලය පාවිච්චි කරලා මගේ යටතේ හිටපු රජයේ සේවකයන්ගෙන් ඒ අය පාගලා ඒ අයගෙන් පලි අරගෙන නැහැ.

 

ආණ්ඩු බලය වෙනස් වුනයි කියලා මම පලි අරගෙන නැහැ. ආණ්ඩුබලය වෙනස් වුණාම මම එස්එස්පීගෙ පුටුවේ වාඩිවෙලා ඒ අයට අණ දීල මගේ ප්‍රතිවාදීන් අත්අඩංගුවට ගන්න කියලා නැහැ. විශේෂයෙන් මමත් එක්ක වැඩකරපු පොලිසියේ නිලධාරීන්, රජයේ නිලධාරීන්, රජයේ සේවකයන් සියල්ල අදත් ඒක අගය කරනවා. නමුත් පොඩි පොඩි කුහකකම් වෙන්න ඇති.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *